Wednesday, November 14, 2018

නිවාසාන්තර ක්‍රීඩා.




         "අඩේ වරකෝ ප#@$ යන්න. වෙලා යනවා."

         ඒ මගේ අතිජාත ටිකක් පජාත යාලුවා. කරුමයක මහත නම් උගේ නමත් බණ්ඩා..

         "හිටු හිටු බල්ලෝ බඩු ටික ගන්නකල්."😡

          කොහෙද මේ යන්නේ..  හෙට තමා සහොදර සහොදරියනි අපේ ඉස්කෝලේ නිවාසාන්තර මෙව්වා එක.. ඉතිං අපි තමා පාසැල් ශිෂ්‍ය භට කාණ්ඩයේ භටයෝ.. මමයි මගේ යාලුවෝ සෙට් එකයි තමා ඉන්න කොප්‍රල්ලා ටික.. සාජනුත් අපේම එකෙක්... අපේ අතේ තමා දැං ගේම තියෙන්නේ.. බූට් දෙක කිරි ටොයියට තියෙන්න ඕන නිසා එළි වෙනකල් පොලිෂ් කිරිල්ලක් තමා.

      මේ වගේ දවස් වල අමුවෙන් ඉන්න සිරිතක් කොයින්ද අපිට.. එන ගමන් කළමනා ටිකත් අරන් ආවේ.. හැබැයි සැන්ඩි වලට මදි උනා. මේ හැම භාහිර ක්‍රියාකාරකමක්ම උනේ ශිෂ්‍ය භට කාමරයේ.. ඕකේ අස්සක බඩු ටිකත් හංගලා දැන් අපි වැඩ..

අහෝ ඛේදයකි ඉරකි තිතකි.. පිට්ටනිය පැත්තේ මහා කාලගෝට්ටියක් ඇහෙනවා.. මෙන්න ටිකකින් කිං කොං වගේ ඩයල් එකක් එනවා අපේ පැත්තට.. කාලා වරෙන්කෝ බල මාලු.. අපේ පාසැලේම හැදී වැඩී නටන්න ඕනි දහ අට පාලි සියල්ලම නටපු අයියා කෙනෙක් ඒත් කරුමෙට එයා දැන් මේකේම සර් කෙනෙක්..

"ගනියව් තොපේ ඔය සපත්තු ටික ස්පොට් රූම් එක ඇතුලට දාලා වහලා හෙට උදේ ඇවිත් පොලිෂ් කරපියව්"

හත් දෙයියනේ මොකක්ද මේ එක සැරේටම උනේ.

"ඇ..ඇයි සර්" හඩ අවදි කලේ සාජන්.

"ඇයි..? තොපි ගෙනාපුවත් ගනියව් එළියට"

"මොනවද සර්"

" ඒකෙන් වැඩක් නෑ. අද රෑ එකෙක්වත් මේකේ ඉන්නේ නෑ. ඔක්කොම යන්න ඕනි ගෙවල් වලට. ගිහින් හෙට උදේම වරෙව්."

කරුමයක මහත. දහය වසරේ උන් ටිකක් බී බී ඉද්දි පිනාගේ අතටම මාට්ටු වෙලා..
දැන් රෑ 9.30.. ගෙදර යන්න බසුත් නෑ. ගම වටේ ටිකක් ඇවිද ඇවිද හිටියේ සිරි නරබන්නම නෙවේ.. ඒ වෙලාවේ හිතුනේ බොතලේ ඉවර කරලා මැරුණත් කමක් නෑ කියලා..  ඔහොම ඉද්දි කාගේ හරි ටිකිරි මොලේට ආවා අදහසක්.. පන්සල ඉස්සරහ තියෙන මොන්ටිසෝරියේ පිටිපස්සේ බොන්න පුලුවන් කියලා.

සෙට් එක දැන් ටික ටික පදමට ඇවිත්. ඒ අස්සේ එකෙක්ට සිංදුත් එනවා..🍷

"එදා මෙදා තුර...."🎸

"කට වහපිය වේ@#යේ.. කාට හරි ඇහිලා පිනාට කිව්වොත් අපිට එදා මෙදා තුර නොකාපු කෑමක් කන්න වෙන්නේ" නැවතත් නඩේ ගුරා සාජන්.

ඔන්න ඔහොම සප්පායම් වී මාර්ග සංවර්ධන අධිකාරිය මගික් අපට පැවරූ තාර පාර මත සිග් සැග් ඇදීම කරගෙන යන අපගේ එකම එකම පැතුම වූයේ ඇල වීමට ඉඩකි..  මගේ මීටරේට ටිං ගාලා සද්දෙත් එක්කම වැටුනේ පාසැල ලගම පිහිටි සමූපකාර අලෙවි සැලයි.  පය ඉක්මන් කර හරි බරි ගැහුනේ එතන සිටි බල්ලන් කිහිප දෙනෙකුගේද නිදි යහන අහිමි කරමින්..

මගේ තිබුන ඉස්පීකර 6 තඩි චයිනීස් පෝන් එකෙන් ජෝති පාල මහතාගේ ගීතයක් පසුබිමින් වාදනය වන අතර තුර අප නිදි දෙව්දුවගේ සමීපයට වැදුනා...😴

හීනියට කචි බිචියක් එක්ක හිනා හඩක් ඇහුනා ලාවට.. ඇස් දෙකේ පිහදාලා හිරි ගැට කඩන ගමන්..
නින්දෙන්ම මැරිලා ගියානම් කොච්චර හොදද කියලා හිතන ගමන් මම වටපිට අතගෑවේ අනිත් උන්ටත් ඇහරවන්න.. 😭😭

 මොන තරම් අවාසනාවක්ද.. සමූපකාරේ ලගින්මයි අපේ පාසැලේ ප්‍රාථමිකේ තියෙන්නේ්‍..


චූටි නංගිලා මල්ලිලා ටිකකුයි උදේ පාන්දර අපි ඉස්සරහා හිටගෙන අපිට කින්ඩියට හිනා වෙනවා..

 දෙපැත්ත අත ගෑවේ අනිත් උන් ඉන්නවද බලන්න.. උන් දෙන්නත් නැගිටලා උදේ පාන්දර යකෙක් දැකලා වගේ බලන් ඉන්නවා..

ඔක්කෝටම වඩා ලැජ්ජාව අලුත පත්වීම් ලැබුන ටීචර්ලා ටිකකුත් ඈත ඉදන් බල බල හිනා වෙනවා... 😖

ඇති වූ හතර විලි ලැජ්ජාව දෙකට  නමා සාක්කුවට දාගෙන බෑග් එක උඩ දොයියන් හිටපු බල්ලත්  එළවන ගමන් පොඩි කොල්ලන්ගේ හූ හඩ මධ්‍යයේ ශිෂ්‍ය භට සෙනාවම නැගිට්ටේ අපගේ පාසල කරා පියමං කිරීමටයි.


නිමි

No comments:

Post a Comment